2016 දෙසැම්බර් 12 වන සඳුදා

වකුගඩු නවතීද?

 2016 දෙසැම්බර් 12 වන සඳුදා, පෙ.ව. 12:00 458

වකුගඩු නිරෝගීව තබාගන්න කියන්නේ ඔබේ මුළු සිරුරම නිරෝගිව තබා ගත්තා කියන එකයි. ඒකට ලොකු දේවල් කරන්න ඕනෑ නෑ. මේ තමා නිරෝගීව වකුගඩු තබාගන්න පිළිපැදිය යුතු කරුණු හැටියට වෛද්‍යවරු පෙන්වා දෙන දේ.

• හොඳින් මුත්‍රා පෙරන්න නම් ජලය අවශ්‍යයි. දිනපතා හොඳට වතුර බොන්න. වතුර ලීටර 3ක්, ඒ කියන්නේ වීදුරු 8ක් බොන්න.
• ශරීරය පිරිසුදුව තබාගත යුතුයි. විශේෂයෙන්ම කාන්තාවන්ට මුත්‍රා  මාර්ගය ආශ්‍රිත ආසාදන වලින් වැළකී සිටීම වැදගත්.
• වැඩියෙන් ලුණු නැති, මස්මාංශ රහිත සමබල ආහාරයකට පුරුදු වන්න.
• දියවැඩියාව, අධිරුධිර පීඩනයෙන් ඇතිවන සංකූලතාවලින් වැළකිය යුතුයි. හොඳ රුධිර පීඩනයක් පවත්වා ගන්නත්, දියවැඩියාවෙන් මිදෙන්නත් සෞඛ්‍ය සම්පන්න ආහාර, ව්‍යායාම, ජලය, මානසික සුවතාව වැදගත්.
• වේදනා නාශක ප්‍රතිජීවක ඇතුළු ඖෂධ වර්ග හිතූ හැටියට නිතර ගැනීම නවත්වන්න.
• වකුගඩු රෝග ඇත්දැයි සොයා බලන මුත්‍රා  සහ රුධිර පරීක්ෂණ වසරකට වරක්වත් කරගන්න.
• වකුගඩු ගල් ඇති බව සොයාගත් හෝ මුත්‍රා මාර්ගයේ අවහිරතා ඇති බව දැනගත් වහාම ඒ සඳහා ඉක්මන් පිළියම් ගත යුතුයි.
• වකුගඩුවේ ගල් සෑදෙන අය අධික කැල්සියම් ආහාරයට එක්කර ගැනීමෙන් වැළකිය යුතුයි.
කොටින්ම හිතූ හිතූ ලෙස කෑම නොගෙන, හොඳින් ජලය පානය කර සාමාන්‍යයෙන් එළිමහනේ හොඳින් දහදිය දමන ව්‍යායාමයක යෙදිලා අධිරුධිර පීඩනය, දියවැඩියාව ගැන ඇහැගහගෙන හිටියොත් වකුගඩු නරක් වෙන්නේ නෑ.
• දුම්පානය, මත්පැන් අතහරින්න.
• උසේ හැටියට බර පාලනය කරගන්න.

වැඩ නොකරන වකුගඩු ගැන දැනගන්නේ මෙහෙමයි.
හුඟාක් වකුගඩු අක්‍රමන්‍ය  වීම් ගැන මුලින් රෝග ලක්ෂණ පහළ වන්නේ නෑ. ඒ ගැන සැපැයෙන ඉඟි කිහිපයක් ගැනයි මේ.
• ආහාර අරුචිය, ඔක්කාරය, වමනය
• මහන්සි ගතියක් දැනීම.
• ලේ හිඟකම නිසා සුදුමැලි වීම.
• හතිය
• හිස කැරකෙන ගතිය. ක්ලාන්තය, සිහිනැතිවීම.

වකුගඩු ලෙඩ ගැන සිරුරෙන් ලැබෙන ඉඟි

ඉදිමුණු ඇහිබැම
අධිරුධිර පීඩනය
තුනටියේ කැක්කුම
මුත්‍රාවල රුධිරය / තේ කහට පැහැ මුත්‍රා
අපැහැදිලි, පෙණ සහිත මුත්‍රා පිටවීම.
මුත්‍රා පිට කිරීමේදී දැනෙන අසීරුව සහ වේදනාව
නිතර නිතර මුත්‍රා පිටවීම.
රාත්‍රියේදී කිහිප වතාවක් මුත්‍රා පිටකිරීම.
මුත්‍රා සමඟ ගල් හෝ වැලි වැනි කොටස් පිටවීම.
වළලුකර ඉදිමීම.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00